පාස්කු බෝම්බ පිපිරීම ගැන ආරක්ෂක අංශ මට කලින් දැනුම් දුන් බව කීවත් වාර්තාවේ එහෙම සඳහනක් නෑ

පාස්කුදා බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ තමන්ට කලින් දැනුම්දීමක් කර ඇති බවට පාස්කු දා බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසමේ වාර්තාවේ සඳහන් නොවන බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉන්දීය වයොන් මාධ්‍ය ජාලය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

පාස්කුදා බෝම්බ පිපිරීමෙන් පසුව ආගමික අන්තවාදය පිළිබඳ විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමට තමා කටයුතු කළ බවත් බ්‍රිතාන්‍යයේ උදව් ඇතිව ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතක් සකස් කිරීම ආරම්භ කළ බවත් කී හිටපු අගමැතිවරයා පත් කළ විශේෂ පොලිස් ඒකකයේ විමර්ශනවලින් සොයා ගන්නා කරුණු සම්බන්ධයෙන් පියවර ගැනීමට නීතිපතිගේ උදව් ගන්නා ලෙස තමා උපදෙස් දුන් බවත් අවධාරණය කළේය.

නිවේදිකාව – පාස්කු දා බෝම්බ පිපිරීම පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම් වාර්තාව ගැන ඔබගේ අදහස කුමක්ද?

වික්‍රමසිංහ මහතා තවමත් සම්පූර්ණ වාර්තාව නිකුත් වී නැහැ. බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් මට කලින් දැනුම් දීමක් කර ඇති බව සහ එක්සත් ජාතික පක්ෂයේ කිසිම ඇමැතිවරයකු මෙයට වගකිව යුතු බවට වාර්තාවේ සඳහන් වන්නේ නැහැ. සැබැවින්ම මා ඇතුළු ඇමැතිවරුන් මීට සම්බන්ධ නැහැ.

නිවේදිකාව – ඉස්ලාම් අන්තවාදය පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකළ බවට ඔබට කොමිසම චෝදනා එල්ල කර තිබෙනවා නේද?

වික්‍රමසිංහ මහතා – බෝම්බ පිපිරීමෙන් පසුව ආගමික අන්තවාදය පිළිබඳ විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකයක් මා ආරම්භ කළා. බ්‍රිතාන්‍යයේ උදව් ඇතිව ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතක් සකස් කිරීම ආරම්භ කළා. පත් කළ විශේෂ පොලිස් ඒකකයේ විමර්ශනවලින් සොයා ගන්නා කරුණු සම්බන්ධයෙන් පියවර ගැනීමට නීතිපතිගේ උදව් ගන්නා ලෙස මා උපදෙස් දුන්නා. මා අන්තවාදය ඉවසන්නේ නැහැ.

නිවේදිකාව- 2018 සිදු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්බුදයෙන් පසු ආරක්ෂක කවුන්සිලයට සහභාගි වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔබට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට හෝ කැබිනට්ටුවට වාර්තා නොකිරීම පිළිගත නොහැකි බව වාර්තාවේ සඳහන් වෙනවා. මේ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

වික්‍රමසිංහ මහතා – එය ජනාධිපතිවරයා උපදෙස් දෙන කමිටුවක් පමණයි. මා අගමැති ධුරයෙන් නෙරපා හැර මහින්ද රාජපක්ෂ මහතා පත් කළ දින 52 ඇතුළත ඔහුටවත් එම කමිටුවට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා ආරාධනා කර නැහැ. මා දන්නා තරමින් ජනවාරි මාසයේ මේ කමිටුව හමුවුයේ එක් වරක් පමණයි. ඉන්පසු ජාතික ආරක්ෂක කවුන්සිලය නමින් රැස්වීමක් කැඳවූයේ නැහැ. එසේ වුවත් කැබිනට් අමාත්‍ය මට්ටමේ රැස්වීම කැඳවූවා. අමාත්‍ය මණ්ඩලයට පිටස්තර පුද්ගලයන් හැර විදේශ අමාත්‍යාංශයද ඇතුළුව අනෙක් සියලු දෙනා එහි සිටියා. ආරක්ෂක කවුන්සිලය ලෙස රැස් නොවුණත් ඒ සඳහා ඇතැම් පුද්ගලයන්ට ආරාධනා කිරීමෙන් වැළකී සිටියත් ජනාධිපතිවරයා නිරන්තරයෙන් ආරක්ෂක අංශ නිලධාරීන් මුණ ගැසුණා.

නිවේදිකාව- ආරක්ෂක නිලධාරීන් විසින් එවකට ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ බෝම්බ පිපිරීමක් සිදු වීමේ සම්භාවිතාවක් පවතින බව පමණක් හෙයින් ඔහුට බරපතළ චෝදනාවක් එල්ල කිරීම සුදුසු යැයි ඔබ සිතනවාද?

වික්‍රමසිංහ මහතා -එය බරපතළ චෝදනාවක්. සම්භාවිතාවක් යනුවෙන් අදහස් කර ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට වාර්තාව බැලිය යුතුයි. නොසලකා හැරීම සම්බන්ධයෙන් වන අපරාධ චෝදනාවට එය අදාළ වන්නේ කෙසේදැයි බැලිය යුතුයි. වාර්තාව නොබලා නීති කටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකියි. ඔහුට දැනුම් දුන්නාද නැතිද යන්න පිළිබඳ පරස්පර විරෝධි සාක්කි තිබෙනවා.

දිණමින පුවත්පත ඇසුරෙනි

Related posts

Leave a Comment