ශාන්තිකර්මයට බිලිවූ දිගිති දියණිය

අමනුෂ්‍ය දෝෂයක් පළවා හැරීමට ශාන්තිකර්මයක් සිදුකළ කාන්තාවක් එල්ල කළ වේවැල් ප්‍රහාරයක් හේතුවෙන් දෙල්ගොඩ මීගහවත්ත ප්‍රදේශයේ දැරියක් මියගොස් තිබේ.

ප්‍රදේශවාසීන් පැවසුවේ ශාන්තිකර්මය අතරතුර පැය පහක පමණ කාලයක් අදාළ දැරියට වේවැල්වලින් පහරදී ඇති බවය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් රෝහල්ගත කළ දැරියගේ මව හා ශාන්තිකර්මය සිදුකළ කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ෆාතිමා රිෆ්කා නම් නව හැවිරිදි එම දැරිය පදිංචිව සිටියේ දෙල්ගොඩ, මීගහවත්ත, කඳුබොඩ ප්‍රදේශයේය.

පසුගියදා ඇයට අමුනුෂ්‍ය දෝෂයක් ඇති බවට අනුමාන කළ ඇයගේ මව පෙරේදා (27) ඇයව යාබඳ නිවසකට රැගෙන යන්නේ ශාන්ති කර්මයක් සිදුකිරීමටය.

එහිදී ශාන්ති කර්මය සිදුකරනු ලබන කාන්තාව ඇයට පළමුව තෙල් සත්කාරයක් ලබා දී තිබේ.

අනතුරුව දැරිය තුළ සිටින යක්ෂයා එළවීමට අවශ්‍ය බව පවසමින් අදාළ කාන්තාව දැරියට වේවැල් කිහිපයක් කැඩී යනතුරු පහරදී ඇත.

මේ පිළිබඳ අදහස් දැක්වු ප්‍රදේශවාසියෙක් පවසා සිටියේ, “එක හමාරේ ඉඳලා හයා මාර දක්වා ගැහුවා.“ යනුවෙනි.

එලෙස පහරදීමෙන් කැඩී තිබූ වේවැල් කොටස් කිහිපයක්ද නිවස තුළ දක්නට ලැබුණි.

එම පහරදීම හමුවේ සිහිසුන් වූ දැරිය බියගම රෝහළට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි බව වෛද්‍යවරුන් සඳහන් කළේය.

දැරිය රෝහල්ගත කළ රියදුරු පවසා සිටියේ, “දොස්තර මහත්තයා බලපු ගමන් කිව්වා දරුවා මැරිලා ඉන්නේ කියලා.“ යනුවෙනි.

දැරියගේ මෘත දේහයේ වේවැල් පහර හේතුවෙන් තුවාල සිදුව තිබුණු අයුරු අපට දක්නට ලැබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු මියගිය දැරිය පියා, “කිසිලෙඩක් වෙන්න දෙයක් නෑ. එයාට එහෙම පෙරේත දෝෂයක් මුකුත් නෑ. හොඳ ළමයෙක් එයා. ළමයගේ හුස්ම හිරවෙනකල් ගහලා කියලා තමයි කියන්නේ. ගහන්න එපා ඇන්ටි ගහන්න එපා ඇන්ටි කියලා කෑ ගහලා තියෙනවා. පැය දෙකක් විතර ගෙදර තියන් ඉදලා තමයි ඉස්පිරිතාලෙට ගෙනත් තියෙන්නේ.“

අනතුරුව පොලිසිය විසින් දැරියගේ මව සහ මෙම ශාන්තිකර්මය සිදුකළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව මහර අතිරේක මහෙස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදුකළේය.

ඇයගේ දේහය පිළිබඳ පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර ඇති අතර දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දින සිදුකෙරිණි.

Related posts

Leave a Comment