පොලිස් ජීප් රථයක ත්‍රිරෝද රථයක් ගැටී දෙදෙනෙකු මරුට

වාරියපොළ, කටුපොත මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේ ඊයේ (28) පොලිස් ජීප් රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදු වු රිය අනතුරකින් එකම පවුලේ දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනුරාධපුරයේ වන්දනාගමනක් යෑම සඳහා වේයන්ගොඩ සිට ත්‍රිරෝද රථයකින් පැමිණෙමින් සිටිය දී පියා, මව, මිත්තණිය හා දරුවන් දෙදෙනකු ඊයේ මෙලෙස අනතුරට පත්ව ඇත.

මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ 40 හැවිරිදි පියා හා ඔහුගේ මව වන 69 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය. අනතුරින් මියගිය පුද්ගලයාගේ 34 හැවිරිදි බිරිය හා 13 හැවිරිදි වියේ හා 9 හැවිරිදි වියේ පසුවන දියණියන් දෙදෙනා බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගොස් නැවත පැමිණෙමින් සිටි කටුපොත පොලීසියට අයත් ජීප් රථයක් තිරෝද රථය ගැටී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේය. අනතුරින් තුවාල ලැබු පොලිස් කොස්තාපල් රියැදුරා මේ වන විට කටුපොත රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Related posts

Leave a Comment