ආණ්ඩුව පාස්කු ප්‍රහාරය හරියට විභාග කරලා නැහැ – සජිත්

පාස්කු ප‍්‍රහාර ක‍්‍රියාවලිය මේ ආණ්ඩුව හරියට විභාග කළා කියා කිසිම විශ්වාසයක් නැතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බැව් පැවසුවේ හම්බන්තොට බඳගිරියේ පෙරේදා (28දා) පැවති විපක්ෂ නායක ජංගම සේවයේ 45වැන්නට එක් වෙමිනි.

එහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

පාස්කු දින අපේ රටේ ත‍්‍රස්ත ප‍්‍රහාරයක්, සිදු වුණා. ඒ ත‍්‍රස්ත ප‍්‍රහාරය නිසා ජීවිත විශාල ප‍්‍රමාණයක් අහිමි වුණා. බොහෝ දෙනකුට බරපතළ තුවාල සිදු වුණා. බොහෝ දෙනකු අනාථ වුණා. රටේ ජනතාව ඇඟිල්ල දික් කළා අප වෙත. රටේ ජනතාව අප වෙත ඇඟිල්ල දික්කරලා කිව්වා මේ ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නයට අපි වගකියන්න ඕන කියලා. එහෙම කියලා රටේ ජනතාව කිව්වා, පොදුජන පෙරමුණට මේක භාර දුන්නොත් ඉතාමත්ම ඉක්මනින් මේ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ ප‍්‍රධාන මොළකරුවන්, නායකයෝ ටික, උපදෙස් දුන්නු කණ්ඩායම්, ඒ බෝම්බ සෑදීම සඳහා උපකරණ ලබා දුන්න කණ්ඩායම්, ඒ බෝම්බකරුවන්ට සාත්තු සප්පායම් කරපු කණ්ඩායම්, ඒ බෝම්බකරුවන් පෝෂණය කරපු කණ්ඩායම් මේ හැමෝම අල්ලනවා කියලා.

දැන් අද මොකක්ද වෙලා තියෙන්නේ? අද බෝම්බ ප‍්‍රහාරය නිසා දැඩි හානියට ලක් වුණු කතෝලික ජනතාවගේ ආගමික නායකතුමා වන අති උතුම් කාදිනල් මැල්කම් රන්ජිත් පියතුමන් එළිපිටම ප‍්‍රකාශ කරනවා මේ කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් පත් කරපු කමිටුව විශ්වාස කරන්න බැහැ කියලා. එතකොට 69 ලක්ෂයක් ජනාධිපතිවරණයෙදී ඡුන්දෙ දීලා, තවත් 68 ලක්ෂයක් මහ මැතිවරණයේදී ඡුන්දෙ දීලා බලාපොරොත්තු වුණේ මේකද? මං අහන්න කැමතියි ඇයි මේ වර්තමාන රජය මේ රටටත් ජනතාවටත් බොරු කරන්නේ? ඇයි පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රධාන මොළකරුවන් එළියට ඉදිරිපත් කරන්නේ නැත්තේ? ඇයි මේ තොරතුරු හංගන් ඉන්නේ? කාගෙන්ද මේවා හංගන්නේ? පාස්කු ප‍්‍රහාරයේ නායකයන්ගේ වතගොත තොරතුරු හංගන්න ද 69 ලක්ෂයක් ඡුන්දෙ දුන්නෙ? 68 ලක්ෂයක් පාර්ලිමේන්තු මැතිවරණයේ ඡුන්දෙ දුන්නෙ? ඔබතුමන්ලා මතක තියාගන්න, මගේ මතකය හැටියට කොරෝනා නිසා මැතිවරණය තියන්න බැරි වුණා. ඒ වෙලාවේ පාස්කු ප‍්‍රහාරය සමරලා දින කිහිපයක් ඇතුළත තමයි මැතිවරණය තියන්නට දින නියම කළේ. මහ මැතිවරණය එහෙමයි සැලසුම් කළේ. ඉතින් මම අහන්න කැමතියි මේ පාස්කු ප‍්‍රහාරයෙන් ඒ විපතට පත්වූ ජනතාවට ඒ ජීවිත අහිමි වුණු ජනතාවට, මේ රජය කළේ දේශපාලන පාපන්දුවක් හැටියට සැලකීම ද? දේශපාලන වාසි තකා ද වේදිකාවක් වේදිකාවක් පාසා මේ පොදුජන පෙරමුණ බොරු බේගල් ඇද දැම්මේ? ඒ ආගමික නායකතුමා ම කියනවා ඒ ක‍්‍රියාව විශ්වාස කරන්න බැහැයි කියලා. මේ වැඩපිළිවෙළ පිළිබඳව කිසිම සතුටක් නැහැ කියලා කාදිනල්තුමා කියනවා. දැන් ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී බෙරිහන් දීලා වේදිකාවල් දෙවනත් කරපු ඒ මහා වීරයන්ගෙන් මං අහන්න කැමතියි ඇයි තමුන්නාන්සේලා පාස්කු ප‍්‍රහාරයේ සැබෑ තොරතුරු ජනතාවට එළිදක්වන්නේ නැත්තේ? ඇයි මේවා හංගන්නේ? අපිට අහන්න ලැබෙනවා පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ වුණු යම් යම් පිරිස් දැන් පිටරටවල්වලට ගිහිල්ලාලූ‍. ගිහිල්ලා නෙමෙයි මේ රටින් පන්නලාලූ‍. ඒ කතා අතරතුර බොහෝ දෙනෙක් දැන් කියනවා පාස්කු ප‍්‍රහාරයෙන් හානිය වුණේ ජනතාවට, වාසිය ලැබුණේ තව කොට්ඨාසයකට. මේ පාස්කු ප‍්‍රහාරයේ ඇත්ත තත්ත්වෙ මොකක්ද කියන එක ගැන මුළු රටටම හෙළිදරව් කරන්න කියලා රටේ ජනතාවම කියනවා. රටේ ජනතාවට විශ්වාසයක් නෑ මේ පාස්කු ප‍්‍රහාර ක‍්‍රියාවලිය මේ ආණ්ඩුව හරියට විභාග කළා කියලා කිසිම විශ්වාසයක් නෑ.

වෙන මොන කතාද කාදිනල්තුමා ම කියනවා නම් විශ්වාස නැත කියලා. මම පැහැදිලිවම රටේ ජනතාවටත්, කතෝලික ක‍්‍රිස්තියානි ප‍්‍රජාවටත්, කාදිනල්තුමාටත්, මුළු ලෝකෙටත් පණිවිඩයක් දෙන්න ලෑස්තියි. ඒ පණිවිඩය තමයි සමගි ජනබලවේගය රජයක් යටතේ නිවැරදි පිරිසිදු පරීක්ෂණයක් අපි පවත්වනවා. කිසිම කෙනෙක් බේරන්න අපි කටයුතු කරන්නේ නෑ.

දිවයින

Related posts

Leave a Comment