ඊළඟ එන්නත් තොගය සංචාරක ක්ෂේත්‍රයට සහ කම්හල් සේවකයන්ට

ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත ඊළඟ කොවිඩ් එන්නත් තොගයෙන් සංචාරක ක්ෂේත්‍රයේ සහ කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට ප්‍රමුඛතාව දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟත්වය පළ කරයි.

ඒ අනුව මේ මස අග වන විට සංචාරක ක්ෂේත්‍රයේ නියුතුවූවන්ට හා සියලු කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට කොවිඩ් එනන්ත දී අවසන් කිරීමට හැකි වනු ඇති අතර කොවිඩ් එන්නත දීමේ දෙවැනි අදියර මේ වන විට ක්‍රියාත්මක වෙයි.

මෙහිදී කොවිඩ් රෝගය වැඩි වශයෙන් වාර්තා වූ බස්නාහිර පළාතේ ග්‍රාමසේවා වසම් මට්ටමින් වයස අවුරුදු 30ට වැඩි පිරිස්වලට එන්නත දීම කෙරෙන අතර පෙරේදා (02) වන විට 553,821ක් සඳහා එන්නත දී තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සේවකයන්, සංචාරක මඟ පෙන්වන්නන්, රියැදුරන් ඇතුළු 20,000කට ආසන්න පිරිසකගේ නාම ලේඛන මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කර ඇති අතර ඊට අමතරව සංචාරක ක්ෂේත්‍රයේ නියුතු සෙසු පිරිස්වලටද එන්නත දීම සඳහා පියවර ගෙන ඇත. මේ අතර රට පුරා ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළෙඳ කලාප 14ක් පිහිටා තිබෙන අතර ඊට අමතරව කර්මාන්තපුරද පිහිටා ඇත. නිදහස් වෙළෙඳ කලාප 14 තුළ පමණක් කර්මාන්ත ශාලා 250කට අධික සංඛ්‍යාවක් පිහිටා ඇත. ඒවායේ සේවය කරනු ලබන සේවක සේවිකාවන් ගණන 130,000 ඉක්මවන අතර ඔවුන්ද ඇතුළත්ව දිවයින පුරා කර්මාන්තශාලා 1,700කට වැඩි සංඛ්‍යාවක සේවය කරන සේවක සේවිකාවන්ට මේ යටතේ කොවිඩ් එන්නත දීම ඉදිරියේදී සිදු කරයි.

සංචාරකයන් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (3) සංචාරක අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මේ බව අනාවරණය කළේය. සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතාද මේ අවස්ථාවට සහභාගි විය.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Related posts

Leave a Comment