ලංකාව අන්තර්ජාතික වෙළෙඳ භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත් කරනවා!

දෙස්-විදෙස් ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට ආණ්ඩුව කටයුතු කරන බවත් අන්තර්ජාතික වෙළෙඳ භාණ්ඩ හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමට කටයුතු කරන බවත් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. 

වත්මන් කොවිඩ් අර්බුදය තුළ රටේ ආර්ථිකය නිවැරැදිව පවත්වාගෙන යෑම පිළිබඳව සහ අනාගත ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

මේ පිළිබඳව අමාත්‍යවරයා මෙසේ ද කීය. 

“වරාය හා ගුවන්තොටුපොළ කේන්ද්‍ර කරගනිමින් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් කටයුතු කරමින් සිටිනවා. මෙවැනි ආයෝජන අවස්ථා ඉලක්ක කරගෙන තමයි එදා අධිවේගී මාර්ග, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, කොළඹ වරාය පර්යන්තයන් වැනි සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කළේ.

අන්තර්ජාතික වෙළෙඳ භාණ්ඩ හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී  ලංකාව පත්කිරීමේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා වෙළෙඳ අමාත්‍යාංශය ඒකාබද්ධව අවශ්‍ය මූලික වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. කෘෂි නිෂ්පාදන ප්‍රතිඅපනයන කාර්මික ජනපදයක් ඇති කිරීම සම්බන්ධයෙන් ද ආයෝජන මණ්ඩලය හා වෙළෙඳ අමාත්‍යාංශය ඒකාබද්ධව මේ වන විට සිදුවෙමින් පවතිනවා.

පළමු වන කොවිඩ් රැල්ලේදී අපේ නිෂ්පාදන විදේශවලට යවා ගන්න විධියක් තිබුණේ නැහැ. දැන් තෙවැනි රැල්ලේදී යුරෝපය කොවිඩ් තත්ත්වයෙන් අත් මිදිලා අපේ කර්මාන්තශාලාවලින් නිෂ්පාදන ඉල්ලනවා. හැකි පමණ එම ඉල්ලීම සපුරාලීමට අප කටයුතු කළ යුතුයි. 

අපිට දැඩි වුවමනාවක් තිබෙනවා මෙම එන්නත්කරණ වැඩසටහන කඩිනම් කරන්න. අපි දැනට මිලියන තුනකට වැඩි ප්‍රමාණයක් එන්නත්කරණය කර අවසන් කරලා තිබෙනවා. 

මීළඟ මාසේ සිට අපි බලාපොරොත්තු වෙනවා මසකට මිලියන දෙකක් එන්නත් කරන්න. මේ විධියට කරගන්න පුළුවන් වුණොත් මාස 6න් ලංකාව ම එන්නත්කරණය කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.

අපි ලංකාවේ කොවිඩ්-19 එන්නත නිෂ්පාදනය කරන්න කටයුතු සැලසුම් කරලා තිබෙන්නේ. නිර්දේශ ලැබෙන කල් ඉන්නේ. එම අවසරය ලැබුණොත් පිටරටින් එන්නත් ලැබෙන කල් ඉන්න අවශ්‍ය නැහැ. අපේ කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරන එන්නත අපිට ලබාගන්න පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් එහි අවසර ගත යුතුයි. ඒ සඳහා අපි යොමු වෙලා තිබෙනවා. 

ලොක්ඩවුන් කියන තත්ත්වය රට තුළ ක්‍රියාත්මක නොකර සංචරණ සීමා පසුගිය දිනවල පනවා තිබුණේ ආර්ථිකය ආරක්ෂා කරගෙන රට ඉදිරියට ගෙන යෑමටයි.”

Related posts

Leave a Comment