අභියෝග මැද ජය ගත යුතු ඉලක්ක!

මේ වන විට ශ්‍රී ලංකාව පමණක් නොව ලොව සෑම රටක්ම පාහේ සංවර්ධනය කරා යෑමේදී මුහුණ දී සිටින වඩාත් බරපතළම අභියෝගය කොවිඩ්-19 ගෝලීය වසංගතය වුවද රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දෙස් විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාවට ඇති විභවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ජාතිය අමතමිනි. ශ්‍රී ලංකාවට අලුතෙන් එකතු වූ හෙක්ටයාර 269ක කොළඹ වරාය නගර භූමියත් සමඟ දේශීය හා විදේශීය ආයෝජකයන් එහි ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසී තිබේ. ආයෝජන ඉඩ ප්‍රස්ථා සම්බන්ධයෙන් පසුගියදා Zoom තාක්ෂණය ඔස්සේ පැවැති අන්තර්ජාතික සමුළුවේදී ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය කෙරෙහි අදාළ වන්නා වූ ආයෝජන සිදු කිරීම පිළිබඳ දෙස් විදෙස් ආයෝජකයන් ධනාත්මක ප්‍රතිචාර දැක්වූ බව පිළිබිඹු විය. විදෙස් ආයෝජන සාර්ථක ලෙස ආකර්ෂණය කර ගැනීමට අපට හැකි වූව හොත් කලාපයේ ශීඝ්‍ර සංවර්ධනයක් අත්කර ගනිමින් ඇති සෙසු රටවල් සමඟ සම මට්ටමක සිටීමට අපට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම එය, මෙරට විදෙස් සංචිත ශක්තිමත් කිරීමට ද විශාල රුකුලකි. එමඟින්, අපේ රටේ ජනතාවට බොහෝ සෘජු හා වක්‍ර ප්‍රතිලාභ අත් වනු ඇතැයි ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දී තිබිණි.

විදෙස් ආයෝජන ආකර්ෂණය

වසංගතය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක වන අතරම, විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ආයෝජන සංසදය වශයෙන් අන්තර්ජාල තාක්ෂණය උපයෝගි කර ගනිමින් තෙදින සංවාදයක් පැවැත්වීමට හැකි වීම ද වැදගත්ය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා කොළඹ කොටස් හුවමාරුව එක්ව සංවිධානය කළ එය විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා යොමු වූ ආසියාවේ පළමු හා විශාලම තථ්‍යාසන්න සංසදයයි (Virtual Forum). එය සැසි 60 කට වැඩි ගණනකින් යුතු වූ අතර ආයෝජන අවස්ථා 70කට වැඩියෙන් විවෘත කෙරිණි. 3500කට වැඩි පිරිසක් එම සංසදයට එක් වූහ. එය අමතමින්, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා, නේපාල සහ මාලදිවයින සඳහා නේවාසික අධ්‍යක්ෂ ෆාරිස් හැඩාඩ් ෂර්වොස් සඳහන් කළේ කොවිඩ්-19 අර්බුදයෙන් පසු වඩාත් ශක්තිමත්ව හා හරිතවත්ව නැඟී සිටීමේදී ශ්‍රී ලංකාවට සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගත හැකි වනු ඇති බවය. වසර 2025 වන විට ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන ඉලක්කය ඇ.ඩොලර් බිලියන 05 කි. එසේ බලන කල මෙම අර්බුදය අවස්ථාවක් කර ගනිමින් ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කළ යුතුය. ඉහළ FDI මට්ටමක් ඇති වීම යනු අපනයන ශක්තිමත් වීම, වර්ධනය සඳහා දිරිගැන්වීම මෙන්ම ණය බර තිරසර මට්ටමකින් පවත්වා ගැනීම පිණිස උපකාරි වේ. මෙහිදී ශ්‍රී ලංකාව ස්වාභාවික සම්පත්වලින් පොහොසත් රාජ්‍යයක් වීම, උපායමාර්ගිකව වැදගත් පිහිටීම, ඉහළ සාක්ෂරතාවකින් යුතු ශ්‍රම බළකාය, සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා ඇති අවස්ථා, තොරතුරු තාක්ෂණය භාවිත වන සේවා, මනා කාර්ය සම්පාදනය, ඉහළ අගය එකතු කිරීමක් සහිත ඇඟලුම් ක්ෂේත්‍රය සහ ආහාර වැනි සාධක ද මෙහිදී රටට වැදගත් බව නේවාසික අධ්‍යක්ෂවරයා පෙන්වා දී තිබිණි. එසේම නිෂ්පාදනය ඉහළ දැමීම සහ තරගකාරිත්වය වෙනුවෙන් පුළුල් ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව ද ඔහු දක්වා තිබේ. මෙහිදී ශ්‍රී ලංකාව සතු විභවය මෙම සංසදයේදී පිළිබිඹු වන බව අධ්‍යක්ෂවරයාගේ අදහස විය. ලෝකයේ විවිධ වෙළෙඳපොළවල ශ්‍රී ලාංකික සමාගම් දැනටමත් කටයුතු කරමින් තිබීම වැනි සාධක ද ඔහුගේ අවධානයට ලක්ව තිබිණි.

ආසියා පැසිෆික් රටවල නියෝජිතයන් මෙන්ම අන්තර්ජාතික සහ කලාපීය සංවිධානවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ආසියා පැසිෆික් ඉහළ ‍පෙළේ සමුළුව ඉකුත් 23 වැනිදා පැවැත්වුණේ චීනයේ සභාපතිත්වයෙනි. එම සමුළුව අමතමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ලොව සියලු රටවලට ආරාධනා කළේ ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා යොමු වන ලෙසටය. එහිදී කොළඹ වරාය නගරය, හම්බන්තොට කාර්මික කලාපය වැනි ආයෝජන අවස්ථා ගැන පෙන්වා දෙනු ලැබිණි. කොවිඩ්-19 අභියෝගය ජය ගැනීමේදී රටවල් අතර මෙන්ම සෙසු පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාවයේ වැදගත්කම ද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කර තිබේ. සංවර්ධනයේදී ශ්‍රී ලංකාව යොමුව සිටින්නේ තිරසර සංවර්ධනයක් ළඟා කර ගැනීමට බව ද සඳහන් කෙරුණේ පුනර්ජනනීය බලශක්තිය ජාතික ප්‍රමුඛතාවක් ලෙස සලකා ක්‍රියාකරන බව ද දක්වමිනි.

ඉකුත් වසරේ මුල් කාර්තුවේ පටන් කොවිඩ් වසංගතයත් සමඟ සටන් කරමින් සිටිය ද අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වීම වාසිදායක තත්ත්වයකි. ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මාන්තය, ඉදිකිරීම් ආදී ක්ෂේත්‍ර ඉදිරියට ගෙන යෑමට ගත් පියවර ද ඊට බලපා තිබේ. ලොක්ඩවුන් තත්ත්ව, සංචරණ සීමා ආදිය යටතේ වුව ද මෙවැනි ක්ෂේත්‍ර අඛණ්ඩව පවත්වා ගැනීමට ගත් ක්‍රියාමාර්ග අගය කළ යුතු වේ. එය අභියෝගාත්මක වුව ද සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ පිළිපදිමින් ඒවා ක්‍රියාත්මක කිරීම ඵලදායි බව මින් පැහැදිලි වේ. මේ වන විට ආයෝජන කලාපවල ඇඟලුම්හල් සේවක පිරිස් එන්නත්කරණය කිරීම ද දියත්ව ඇත.

දේශීය නිපැයුම් දිරි ගැන්වීම

කොළඹ වරාය නගරය මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදු වූ විශාලතම විදෙස් ආයෝජනයයි. ඒ හැරුණු විට තවත් ප්‍රධාන ආයෝජන කිහිපයක් ද මෑතදී දියත් විය. ඉන් එකක් හම්බන්තොටදී මේ වසර මුල විවෘත වූ දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කම්හලය. එය ෆෙරෙන්ටිනෝ ටයර් කම්හල අ.ඩො. මිලියන 250ක ආයෝජනයකි. එහි සභාපති නන්දන ලොකුවිතාන මහතා ප්‍රකාශ කළේ දේශීය නිෂ්පාදන දිරිගැන්වීම් හා දෙස් විදෙස් වෙළෙඳපොළට යොමු කිරීම අරභයා වන ජනාධිපතිවරයාගේ දැක්ම දේශීය නිෂ්පාදකයන් සහ ව්‍යවසායකයන් දිරිගැන්වීමට හේතු වී ඇති බවය. මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල (BOI) පහසුකම් ද ලැබිණි. ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් ලෙස ලෝකයට යන මෙම ටයර් නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍ය අපේ රබර්ය. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර මේ වන විට සම්පූර්ණ වී තිබේ. එහි දෙවැනි අදියර 2022 මාර්තු වන විට සම්පූර්ණ කර දියත් කිරීම ඉලක්කයයි. හම්බන්තොට වරාය පරිශ්‍රයේ ඇ.ඩො. මිලියන 300ක චීන ආයෝජනයක් ලෙස තවත් ටයර් කම්හලක් ඇරඹීමට ද පියවර ගැනිණි. මෙය ද උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියකි.

තේ, ‍රබර්, පොල් ඇඟලුම් ආදී අපනයනවලට අමතරව ඉහළ අපනයන ආදායම් ඉපැයිය හැකි නව නිෂ්පාදන ක්ෂේත්‍ර 5 ක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් හඳුනාගෙන තිබේ. ඉන් එකක් ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයයි. එය සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකි මෙන්ම ඖෂධ සඳහා රටින් පිටට ඇදෙන විශාල විනිමය ප්‍රමාණයක් රට තුළ ඉතිරි කර ගත හැකි නිෂ්පාදන ක්ෂේත්‍රයකි. මේ වන විට රටේ ඖෂධ අවශ්‍යතාවයෙන් 85%ක්ම ආනයනය කරන අතර ඉතිරි 15% රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) මඟින් නිෂ්පාදනය කරයි. ඖෂධ ආනයනය සඳහා වන වියදම මෑත වර්ෂ ගණනාව තුළ වේගයෙන් ඉහළ ගොස් තිබේ. ඒ වෙනුවෙන් ඇ.ඩො. මිලියන 750 ක් පමණ වැය කිරීමට සිදුව ඇත.

ඖෂධ නිෂ්පාදන කලාපය

වසර 2025 දී ඖෂධ නිෂ්පාදනයෙන් රටට විනිමය රැගෙන ඒම ද අරමුණු කර ගනිමින් හම්බන්තොට ඖෂධ නිෂ්පාදන කලාපය අක්කර 400ක භූමි භාගයක දියත් වන්නේ උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙසිනි. එය ද අදියර 2 න් යුතුය. ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල මහතා පවසන පරිදි ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය අපේක්ෂිත මට්ටමට සංවර්ධනය කළ හැකි වුව හොත් වසර 2025 අග වන විට අපනයන හා ආනයන ආදේශනය මඟින් ඇ.ඩො. බිලියනයක් පමණ උත්පාදනය කරනු ඇත. මනා නිපුණත්වයකින් යුතු ශ්‍රම බළකායක් නිර්මාණය වීම වැනි අතුරු ප්‍රතිලාභ ද ගණනාවකි. ලොව මුල් පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් මෙම කලාපයේ ආයෝජනය කිරීම සඳහා ආකර්ෂණය කර ගැනීමෙන් සමස්ත ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයම දියුණු වනු ඇත.

මේ වන විට ශ්‍රී ලංකාව චීනය සහ රුසියාව වැන රටවල් සමඟ එක්ව කොවිඩ් එන්නත් නිෂ්පාදනය කිරීමේ කර්තව්‍යයකට ද යොමු වී සිටී.

අප පසු කරමින් ඇති ගෝලීය වසංගත සමය ලෝක ආර්ථිකයම පසුපසට ඇද දමා අවසන්ය. ධනවත් රටවලට හා සංවර්ධනය වෙමින් පවත්නා රටවලට එම බලපෑම් විවිධාකාර මට්ටමින් දැනෙමින් පවතී. එක් අතෙකින් වසංගතය පාලනය කිරීම සඳහා කටයුතු කරන අතරම අනෙක් අතට ආර්ථික වර්ධනයක් අත්කර ගනිමින් නැඟී සිටීමේ අභියෝගයට ශ්‍රී ලංකාව මුහුණ දීම අගය කළ යුතුය. සර්ව අසුබවාදී කල්පනා, අදහස් මෙන්ම හුදු දේශපාලනික අවස්ථාවාදී වෛරසහගත මතිමතාන්තර සහ අවලාදවලින් මෙවැනි සමයක නොව කවර කලෙකවත් රටකට අත්වන යහපතක් නැති බව ප්‍රත්‍යක්ෂ වී ඇති කාරණයකි. විශේෂයෙන් මෙවැනි වසංගත සමයක එම අභියෝගයන්ට මුහුණ දිය යුතු වන්නේ සාමූහිකවය. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු ලෝකයම සටන් කිරීමට සිදුව ඇති දැවැන්තම අභියෝගය හමුවේ වුවද අ‍පේක්ෂා සහගතව නැඟී සිටීමට හැකි දැක්ම, රටක් ලෙස තමන් සතු බව ශ්‍රී ලංකාව පෙන්නුම් කර ඇත. වසංගතය පාලනය කිරීම සඳහා වුව ද මෙරට ගනිමින් ඇති ක්‍රියාමාර්ග ඇගයීමට ලක්ව ඇත. කවර කලෙකවත් සියල්ලම සර්වසම්පූර්ණව සිදු වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. සිදු විය යුතු වන්නේ සැලසුම්සහගතව සහ අපේක්ෂා කළ පරිදි රට ජය ගත යුතු ඉලක්ක හැකි උපරිමයෙන් ජය ගැනීමය. ඒ වෙනුවෙන් රට යොමු වී ඇති බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. ජනාධිපතිතුමා ජාතිය අමතා කළ කතාවේ හරය මඟින් දැක්වෙන්නේ ද එයයි.

ධම්මික සෙනෙවිරත්න

Related posts

Leave a Comment