ජවිපෙ වෙනුවෙන් සජිත් පෙරට – අනුරටත් පෙර නිවේදනයක් නිකුත් කරයි!

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවේ ඇති සූදානම හෙළා දකිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කොට ඇත.

එම නිවේදනය මෙසේය.

ආඥාදායක අරමුණු වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලකරුවන් බිල්ලට ගැනීම වහාම නවතනු!

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ තැතක් ඇති බව වාර්තා වෙමින් තිබේ.

ආණ්ඩුවවේ මේ ආඥාදායක,ෆැසිස්ට්වාදී වැඩපිළිවෙළ පිළිබඳව සමගි ජන බලවේගයේ දැඩි විරෝධය සහ පිළිකුල පල කරමු.

මේ ආණ්ඩුව බිහිවූදා සිටම සිදු කරනු ලැබුවේ ජනතා හිතසුව පිණිස කටයුතු කරනවා වෙනුවට බල උන්මාදයෙන් කටයුතු කරමින් ජනජීවිත කබලෙන් ලිපට දමමින් පීඩා කිරීමය.එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සටන්බිමේ අරගලකරුවන්ව දඩයම් කිරීම ය.

දිනෙන් දින ජනතාවට අපේක්ෂාභංගත්වය උරුම කළ ආණ්ඩුවට එරෙහිව රට පුරා ජනතාව මේ වන විටත් පෙළගැසෙමින් සිටින අතර එය ඉවසා දරාගත නොහැකි ආණ්ඩුව මේ මොහොතේ කටයුතු කරමින් සිටින්නේ මර්දනය ,තර්ජනය සහ බිය ගැන්වීම සිය ප්‍රතිපත්තිය බවට පත්කර ගනිමින් ය.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කිරීමේ අයිතිය සෑම දේශපාලන පක්ෂයකටම ඇති අතර එය උල්ලංඝනය කිරීමේ කිසිදු අයිතියක් ආණ්ඩුවට ඇත්තේ නැත .

ආණ්ඩුවට තමන්ගේ නොහැකියාව ,අසාර්ථකත්වය සහ අසංවේදී බව වසාගන්නට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බිමේ සිටින අරගලකරුවන් සහ සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම පුරවැසියන් දඩයම් කිරීමට කිසි ලෙසකින් වත් ඉඩ නොතබන බවද අවධාරණය කරමු.

නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම ,ප්‍රජාතන්ත්‍රවාදීව අරගල කිරීම,ආණ්ඩුව විවේචනය කිරීම යනාදී අයිතිවාසිකම් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම සහතික කොට ඇති බව ආණ්ඩුව මතක තබා ගත යුතු අතර සහෝදර දේශපාලන පක්ෂ වලට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව ගතයුතු සහ ගතහැකි සියලූ ක්‍රියාමාර්ග ගැනීමට අප දෙවරක් පසුබට නොවන බවද ආණ්ඩුවට මතක් කරනු කැමැත්තෙමු.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

Related posts

Leave a Comment