පසුගිය දින කිහිපය තුළ පැවති විදුලි කප්පාදුව අවසන් බවත් ඒ අනුව අද (10) සිටම සුපුරුදු පරිදි විදුලි සැපයුම සිදුවන බවත් විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පැවසුවේය.
පසුගිය 03 වැනිදා කොත්මලේ සිට බියගම දක්වා විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් නොරොච්චෝලේ ජනන යන්ත්‍ර දෙකක් අක්‍රීය වීම නිසා විදුලිය බිඳ වැටුණු අතර එහි තුන්වන ජනන යන්ත්‍රය ඒ වන විටත් නඩත්තු කටයුතු සඳහා පද්ධතියෙන් ඉවත් කිරීම හේතුවෙන් විදුලි සැපයුමට බාධා එල්ල වී තිබුණි.
එලෙස ජනන යන්ත්‍ර අක්‍රීය වූ විට යථාතත්ත්වයට පත්කර ගැනීම සඳහා දින 4ක 5ක කාලයක් ගත වන බවත් මේ වන විට තුන්වන සහ දෙවන ජනන යන්ත්‍ර පද්ධතියට එකතු කර තිබෙන හෙයින් අද සිට විදුලි සැපයුමට බාධාවක් ඇති නොවන බවයි ජයවර්ධන මහතා සඳහන් කළේ.
පළමු ජනන යන්ත්‍රයද හෙට දිනය වන විට පද්ධතියට එකතු කළ හැකි බවයි ඔහු පැවසුවේ.
ඒ අනුව අද සිට බාධාවකින් තොරව විදුලි සැපයුම සිදුකිරීමේ හැකියාව පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය තහවුරු කර තිබෙන බව ජයවර්ධන මහතා කියාසිටියේය.
පසුගිය 03 වැනිදා සිදුවූ විදුලිය බිඳ වැටීමෙන් පසු නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර යළි පද්ධතියට එක් කරන තෙක් ඉහළ විදුලි ඉල්ලුමක් පවතින පස්වරු. 06 සිට 09.30 දක්වා කාලය තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමක් සිදු විය.
එමෙන්ම පසුගිය 03 වැනි දින සිදු වූ විදුලිය බිඳ වැටීම ගැන සෙවීමට පත් කළ කමිටුවේ වාර්තාවද ඉතා ඉක්මණින් ලැබෙනු ඇති බවයි සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ.