යතුරුපැදි අනතුරකින් මව සහ පුතා ජීවිතක්ෂයට!

හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ, මාදම්පේ, ඉරට්ටකුලම ප්‍රදේශයේදී යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී යතුරු පැදියේ ගමන් කළ දෙදෙනෙකු එම ස්ථානයේ ම මිය ගොස් තිබේ.  

මෙලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 23ක් තරුණයෙකු හා වයස අවුරුදු 54ක් වන එම තරුණයාගේ මව ය. 

අප වාර්තාකරු සඳහන් කළේ, අද (දෙසැ. 15) අලුයම මෙම අනතුර සිදු වී ඇති බවට පොලිසිය ප්‍රකාශ කළ බව ය.

මෙම යතුරුපැදිය අනුරාධපුරයේ සිට කටාන බලා ගමන් කර ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.

ඔවුන් දෙදෙනා රෝගියෙකු බැලීම සඳහා ගොස් ඇති අතර අනතුරින් යතුරු පැදියට බරපතළ හානි සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කර ඇත.

වැඩිදුර පරීක්ෂණ සඳහා මළ සිරුර මේ වන විට හලාවත මහා රෝහලේ තැන්පත් කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

මාදම්පේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් පරිදි මාදම්පේ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Related posts

Leave a Comment