විමල්, වාසු, ගම්මන්පිලගේ දිවුරුම් පෙත්සම් ව්‍යවස්ථා විරෝධීයි!

යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණයට එරෙහිව විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදයගම්මන්පිල යන කැබිනට් අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් පෙත්සම් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව නීතිපති සංජය රාජරත්නම් මහතා ඊයේ (17) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඔවුන් අමාත්‍ය මණ්ඩලයේ සාමුහිකත්වය ආරක්ෂා කිරීමට බැඳී සිටින බව පෙන්වා දුන් නීතිපතිවරයා සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම් දී සිටින මෙම අමාත්‍යවරුන් තිදෙනා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මෙම දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි. 

නීතිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ අදාළ අමාත්‍යවරුන් තිදෙනා වෙනුවෙන් පෙනී සිටින පෞද්ගලික නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දැක්වීම ආරම්භ කළ අවස්ථාවේදී විරෝධතාවක් මතු කරමිනි. එහිදී අධිකරණය නීතිපතිවරයාට දැනුම් දුන්නේ ඔහුගේ විරෝධතාව නීතිපතිවරයාගේ දේශනවලදී ඉදිරිපත් කරන ලෙසය. 

මේ අතර විමල්, වාසු, ගම්මන්පිල යන අමාත්‍යවරුන් තිදෙනා දැනටමත් කැබිනට් සාමුහිකත්වය කඩකර ඇති බැවින් ඔවුන්ව ඇමති තනතුරුවලින් නෙරපීමට කටයුතු නොකරන්නේ මන්දැයි පෙරේදා (16) දිනයේදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතීඥවරුන් ප්‍රශ්න කර තිබිණි. 

වැඩිදුර පෙත්සම් විභාගය ජනවාරි 10 වනදාට කල් තැබිණි. 

ඊට ඊයේ දිනයේදී පිළිතුරු දෙමින් එම අමාත්‍යවරුන්ගේ නීතීඥයා පැවසුවේ ඔවුන් තිදෙනා ආණ්ඩුවට සම්බන්ධ වී සිටින්නේ විවිධ පක්ෂ නියෝජනය කරමින් වන අතර එම පක්ෂ අතර පවතින එකඟතා අනුව ඔවුන්ව අමාත්‍ය ධුරවලින් ඉවත් කළ නොහැකි බවකි. 

Related posts

Leave a Comment