නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සිය විවාහ උත්සවය අවලංගු කරයි!

නවසීලන්තයේ ඔමික්‍රෝන් කොරෝනාවෛරස ප්‍රභේදයේ ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා පනවන සීමාවලට අනුගත වෙමින් එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් සිය විවාහ මංගල්‍යය උත්සවය අවලංගු කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, දිනපතා පැවත් වෙන කොවිඩ්-19 පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළ බව ය.‍

ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ මහජන ඒකරාශි වීම් සීමා කිරීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව ඇය එහිදී ප්‍රකාශ කර ඇත.

විවාහ මංගල්‍ය උත්සවයකින් අනතුරව නවසීලන්තයේ උතුරු සහ දකුණු දූපත් ආශ්‍රිතව ඔමික්‍රෝන් ආසාදිතයින් පොකුරක් හඳුනා ගැනීම හේතුවෙන් එරට රජය මෙලෙස නව සීමා පැනවීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. 

එක ම පවුලේ සාමාජිකයින් 9 දෙනෙකු මෙලෙස ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔවුන් විවාහ මංගල්‍යයෙන් අනතුරුව නවසීලන්තයේ දකුණු දූපතේ පිහිටි නෙල්සන් නගරය වෙත පැමිණි ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ද ආසාදිතයෙකු ලෙසට හඳුනා ගෙන ඇති බවය.

ජසින්ඩා ආර්ඩන් සිය දීර්ඝ කාලීන සහකරු වන ක්ලාක් ගේෆෝර්ඩ් සමග විවාහ වීමට සැලසුම් කර තිබිණි.

“මෙම වසංගත තත්ත්වය හේතුවෙන් අනෙක් නවසීලන්ත ජාතිකයින් මෙන් මම ද ඉදිරියේදී පැවත් වීමට සැලසුම් කර තිබූ මාගේ විවාහය මංගල උත්සවය කල් දමනවා,” ඇය පවසා තිබේ.

විවාහ මංගල උත්සවය කල් දැමීමට ඇය ගත් තීරණය පිළිබඳව තමන්ට හැඟෙන්නේ කෙසේ දැයි මාධ්‍යයවේදියෙකු ඇය ගෙන ප්‍රශ්න කර අවස්ථාවේ ඇය සඳහන් කර ඇත්තේ, “ජීවිතය එබඳුයි” යනුවෙනි.

Related posts

Leave a Comment