ලයිසන්වලට මෙඩිකල් ගන්න ආ 1213කින් 145ක් කුඩ්ඩෝ!

රියැදුරු බලපත්‍ර ලබාගැනීමට හා අලුත් කර ගැනීමට වෛද්‍ය සහතික ලබාගැනීම සඳහා පැමිණි 1213 ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේදී ඔවුන්ගෙන් 145 දෙනකුම මත්ද්‍රව්‍ය භාවිත කරන බවට පසුගිය දිනෙක අනාවරණය වී යැයි පොලිස් ජේ‍යෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන වාර්තා මඟින් මෙම තොරතුරු අනාවරණය වී යැයිද ඒ අනුව මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් කොටුකර ගැනීම සඳහා මෙම සතියේ සිට දිවයින පුරා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නේ යැයිද අජිත් රෝහණ මහතා කීය.

මින් වැඩි පිරිසක්ම ලොරි රථ ධාවනය කරන්නවුන් බවත් ඉන් 21 දෙනකු බස්රථ ධාවනය කරන රියැදුරන් බවත් මෙය භයානක තත්ත්වයක් බවත් හෙතෙම කීය.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මඟින් ලබාගත් තොරතුරුවලට අනුව දිනකට මෙතරම් පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇත්නම් එය 10%ක ප්‍රතිශතයක් දක්වා ඉහළ ගොස් ඇතැයිද කී ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ශ්‍රී ලංකාවේ වාහන රියැදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී රිය ධාවනය කරන බව මින් නිරීක්ෂණය වන බවද සඳහන් කරයි.

මත්පැන් භාවිත කර රිය පදවන්නන් කොටු කර ගැනීමට මෙතෙක් සිදුවුවද මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් පිළිබඳ අවධානයක් යොමු නොවීම නිසා මෙය මාර්ග ආරක්ෂාවට තදබල තර්ජනයක් බැවින් ඉදිරියේදී දිවයින පුරා මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රියැදුරන් කොටුකර ගැනීම දීප ව්‍යාප්තව සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.

Related posts

Leave a Comment