ගිය සති අන්තයේත් ජීවිත අටක් වතුරේ දිය වෙයි!

ජනවාරි මාසය තුළ හා පෙබරවාරි මුල් සතිය තුළ දියේ ගිලී මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ අගයක් වාර්තා කර ඇත.

පෙබරවාරි මුල් සතිය තුළ පමණක් පුද්ගලයන් අට දෙනකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති අතර බදුල්ල – වැල්ලවාය මාර්ගයේ ඇල්ලවල ඇල්ලේ දියනෑමට ගිය අය අතරින් තිදෙනෙක්ද ඒ අතර වෙති.

මේ අතර ගාල්ලේ, කටුගොඩ ප්‍රදේශයේ පිහිනුම් තටාකයක ගිලීමෙන් එකම පවුලේ හත් හැවිරිදි දැරියක් සහ නව හැවිරිදි පිරිමි දරුවකු මියගොස් ඇත.

දැරණිගල, අංහෙට්ටිගම, කීරිහේන ප්‍රදේශයේ රක්කනාව ඇල්ලේ දියනෑමට ගිය වයස අවුරුදු නවයක පාසල් දැරියක්ද දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.

අලව්ව, බෝගහවත්ත ප්‍රදේශයෙන් ගලාබසින මාඔයේ දියනෑමට ගිය එක්දරු පියකු පෙරේදා (05දා) දියේ ගිලී මියගොස් තිබේ.

යටියන්තොට, අමනාවල, වී ඔයේ ගිලී මියගොස් සිටි පුද්ගලයකුගේ සිරුර පෙරේදා (05දා) උදෑසන හමුවී ඇත.

ඉකුත් ජනවාරි මාසය තුළ හාලිඇළ, ඇටම්පිටිය, ගැර¾ඩිඇල්ලේ දියනෑමට ගොස් තරුණියෝ පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

සිරිපා වන්දනාවේ යන අතරතුර පලාබද්දල ප්‍රදේශයේදී කළුගඟේ දියනෑමට ගොස් සැඩපහරට ගසාගෙන ගිය පුද්ගලයන් අතරින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මාදම්පේ, කිනිපිටිය වැවේ මල් කැඩීමට ගිය ළමයකු සහ ශිෂ්‍යත්ව විභාගය අවසන් වී කුච්චවේලි, එරක්කන්ඩි කළපුවේ දියනෑමට ගිය දැරියක්ද ජීවිතක්ෂයට පත්වූහ.

මිතුරන් සමඟ මකල්දෙණිය ගඟේ දියනෑමට ගිය 16 හැවිරිදි සිසුවෙක්ද කුරුවිට, කුරුගඟේ දියේ ගම්පොළ, ඉල්වතුර ප්‍රදේශයෙන් මහවැලි ගඟේ තිබියදී කාන්තාවක්ද මෙසේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්වූ පිරිස අතර වෙති.

වැල්ලවායේ, ඇල්ලේවල දියඇල්ලේ නෑමට ගිය මාතර සිට නුවරඑළියේ විනෝද ගමනක් යමින් සිටි පුද්ගලයන් හය දෙනකුගෙන් තිදෙනකු එම දියවළේ ගිලී මියගොස් සිටියදී පෙරේදා (05දා) දහවල් වැල්ලවාය පොලිසිය ප්‍රදේශවාසීන්ගේ සහායෙන් සොයාගෙන තිබේ.

මෙස් දියේ ගිලී මියගොස් ඇත්තේ මාතර පඹුරණ පදිංචි චන්ද්‍රසිරි හේවාමුල්ල (65) වෝල්ටර් නානායක්කාර (58) හා ලෙස්ලි කුමාර (53) නමැති පුද්ගලයන් තිදෙනෙකි.

දියේ ගිලී මියගිය තිදෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු ප්‍රදේශයේ තරුණයන් පස්දෙනකු සොයාගෙන තිබූ අතර වැල්ලවාය පොලිස් ස්ථානාධිපතිවරයා කළ දැනුම් දීමකට අනුව එම ස්ථානයට පැමිණි නාවික හමුදාවට අනුයුක්තව රාජකාරි කරනු ලබන ජීවිතාරක්ෂක නිලධාරීන් පිරිසක් දියවළේ සිරවී තිබූ අනෙක් සිරුර පසුව සොයා ගන්නා ලදී.

මේ වනවිට එම ඇල්ල ආශි්‍රතව මියගිය ගණන 11කි. පසුගිය වසරේ මෙම දියඇල්ලේ නෑමට පැමිණි එකම පවුලේ පියකු හා දරුවන් දෙදෙනකුද මියගොස් තිබිණි.

සති දෙකක් ඇතුළත පුද්ගලයන් සිවුදෙනකු මිය යෑමත් සමඟ ඉකුත් වසරේ වැල්ලවාය පරිසර කමිටුව ගත් තීරණයකට අනුව ඇල්ලේවල දියඇල්ලේ දිය නෑම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට තීරණය වූ අතර අනතුරුව ඇල්ලේවළේ දිය නෑම නවතාලීමට ප්‍රාදේශීය සභාව කම්බිවැටක්ද ඉදි කළේය.

තහනම නොතකමින් දිනපතා විවිධ ප්‍රදේශවල පුද්ගලයන් සිය ගණනක් මෙම ඇල්ල නැරැඹීමට පැමිණෙන අතර ආරක්ෂාවට තිබූ කම්බි වැටද පෙරළා දමා තිබේ. සිදුවූ අනතුර සම්බන්ධයෙන් එච්.ඩබ්. ප්‍රියන්ත මහතා තමන් මුහුණ දුන් අත්දැකීම ‘මව්බිම’ට මෙසේ කීය.

“යූ – ටියුබ් එකේ මේ ඇල්ල ගැන වීඩියෝවක් තිබුණා. ඒක හොයාගෙන තමයි ආවේ. අපි ආපු වෑන් එකේ ඇල්ල පැත්තට එන්න බැරි නිසා වීල් එකකින් උඩට ඇවිල්ලා එතනින් පයින් ඇල්ල බලන්න ආපු විදේශිකයන් පිරිසක් පිටිපස්සෙන් ඇල්ලට ආවා. ඒ ඇවිල්ලා 12ට විතර නාන්න පටන්ගත්තා. මේ ළඟ නෑවේ. ඒ අතර වෝල්ටරුයි චන්ද්‍රසිරියි කොට කෑල්ලක් අරගෙන සෙල්ලම් කර කර හිටියා, ඒ ඉන්නකොට ටික ටික අර ඇල්ලේ මුල්ලට ගියා. එක සැරේම අත් උඩට පෙන්නුවා. බේරගන්න ගිලෙනවා කියලා කියනවා වගේ අපිට පෙනුණා. ඒ සැරේ මමයි ලෙස්ලියි චන්දනයි තුන්දෙනා ඉක්මනට වතුරට පැනලා ඒ කිට්ටුවට ගියා ඒ අයව බේරගන්න. ඒ පාර ලෙස්ලිත් වතුරේ ගිලුණා. චන්දන ඇල්ලේ අයිනේ තිබුණු ගලේ එල්ලුණා. මම ලෙස්ලි ඇදගෙන ගොඩට ආවා. ඇවිල්ලා පපුව තදකරලා කෘත්‍රිම ශ්වසනය දුන්නා. පැයක් විතර මහන්සි වුණා. ඒත් බේරාගන්න බැරිවුණා.” කියා සිටියේය.

මෙම මරණ සම්බන්ධයෙන් පැවැති හදිසි මරණ පරීක්ෂණය වැල්ලවාය හදිසි මරණ පරීක්ෂක එච්.එම්.ජේ. හේරත් මහතා කළ අතර ඒ මහතා කියා සිටියේ එම ස්ථානයෙන් වැල්ලවාය ජල සම්පාදන මණ්ඩලය පවුල් දහස් ගණනකට ජලය ලබාගන්නා ජල මූලාශ්‍රයක් වන බැවින් ජලය අපිරිසුදු වීම වැළැක්වීම සඳහා නැරැඹීමට පමණක් මෙම ස්ථානයට සකස් කර දිය නෑමට පහළ ස්ථානයක් සකස් කරන ලෙස තමන් යෝජනා කළ බවත් මීට පෙර මෙම ස්ථානයේ දියේ ගිලීම් සිදුවූ අවස්ථාවේ වගකිවයුතු ආයතනවලට ආරක්ෂාකාරී ලෙස මෙම ස්ථානය සකස් කිරීමට උපදෙස් දෙනු ලැබුවද ඒවා ක්‍රියාත්මක වී නොමැති බවත් දියඇල්ල නැරැඹීමට එන පිරිස්ද ඒවායේ ඇති අවදානම ගැන දැනුමක් නොමැතිව දිය නෑමට යෑම හේතුවෙන් මේ ආකාරයේ වටිනා ජීවිත විනාශ වීම කනගාටුවට කරුණක් බවත්ය.

මරණ ගොඩ ගැනීමට ඉදිරිපත් වූ ඇල්ල ආසන්න ගම්මානයේ පදිංචි තරුණයන් පිරිසක් මරණ පරීක්ෂකවරයාට අදහස් දක්වමින් කියා සිටියේ මෙම ස්ථානයේ අවදානම් සලකුණු කළ වැටක් ඉදිකර තිබුණද රට විවෘත කර ඇති නිසා එය සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් ඉවත් කළ බවත් ඒවා තිබුණා නම් මෙම ජීවිත අහිමි නොවන බවත්ය. එසේම ජීවිතාරක්ෂක පුහුණුවක් ලබා සිටින තමන්ට මෙම ස්ථානයේ රාජකාරි කරන්නට අවස්ථාවක් ලබා දෙන්නේ නම් මෙවැනි අවදානමක් ඇති නොවන බවත්ය.

මෙම මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය වැල්ලවාය මූලික රෝහලේදී කිරීමට නියමිතව තිබූ අතර වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එම්. රත්නායක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර පරීක්ෂණ කරති.

Related posts

Leave a Comment