අඩු ආදායම්ලාභි පවුල්වලට රු.2000ක සහන මල්ලක්!

අඩු ආදායම්ලාභීන් සඳහා මෙවර අයවැයෙන් යෝජිත ගෘහ ආර්ථික සුරක්ෂිතතා (සහන මල්ල) වැඩසටහන යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමකින්ම තෝරාගත් පවුල් 40කට බැගින් රුපියල් 2000ක් වටිනා සහන මල්ලක් බෙදා දීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජීවන වියදම ඉහළ යෑමේ පීඩනය සැහැල්ලු කිරීමේ අරමුණින් මේ වැඩසටහන ක්‍රියාත්මක වන අතර එහිදී විශේෂිත නිර්ණායක පදනම් කරගෙන අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය මත තෝරා ගන්නා පවුල් සඳහා රුපියල් 2000ක් වටිනා භාණ්ඩ මිල දී ගැනීමට හැකි වන පරිදි ප්‍රතිලාභී පවුල්වලට ඩිජිටල් කාඩ්පතක් දෙන බව වෙළෙඳ ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (15) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

සහන මල්ල බෙදා දීමේ වැඩසටහන පාරිභෝගික කටයුතු හා සමුපකාර අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන අතර ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සියල්ල අයවැය ලේඛනයෙන් මුදල් ඇමැතිවරයා වෙන් කර දී තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය. එකී කාඩ්පත භාවිත කරමින් ගෘහ ආර්ථික සංවර්ධ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලබන කාන්තා ව්‍යවසායකයන් මුල්කරගත් කුඩා සුපිරි වෙළෙඳසල් මඟින් දේශීයව නිෂ්පාදිත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් පාරිභෝගික භාණ්ඩ මිල දී ගැනීමට අවස්ථා හිමි වන බව ඇමැතිවරයා කීය.

Related posts

Leave a Comment