කොවිඩ් එන්නත් සහ ගර්භණී මාතාවන් ගැන නවතම අධ්‍යයනයකින් හෙළි වූ කරුණු!

ගර්භණී සමයේදී කොවිඩ් එන්නත් ලබා ගැනීමෙන් මවට සහ දරුවාට ප්‍රබල ආරක්ෂාවක් ලැබෙන බව එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය සිදු කළ නවතම අධ්‍යයනයකින් සොයා ගෙන තිබේ.

අදාළ අධ්‍යයනයෙන් තව දුරටත් සොයාගෙන ඇත්තේ, ගර්භණී සමයේදී කොවිඩ් එන්නත් ලබා නොගත් කාන්තාවන්ට උපත ලබන ළදරුවන්ට සාපේක්ෂව, එම සමයේදී mRNA එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් මව්වරුන්ට උපදින ළදරුවන්, ඔවුන්ගේ ජීවිතයේ පළමු මාස හය තුළ කොවිඩ්-19 වැළඳීම හේතුවෙන් රෝහල්ගත වීමට ඇති ඉඩකඩ 61%කින් අඩු බව ය.

ෆයිසර් සහ මොඩර්නා එන්නත් කොවිඩ්-19 සඳහා දෙනු ලබන mRNA එන්නත් ලෙස සැලකෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එමෙන් ම, ගර්භණී මවුවරුන්ට එන්නත් ලබා දුන් ඕනෑ ම අවස්ථාවකදී එය ඵලදායී වුව ද ගැබ්ගෙන සති 21ක් හෝ ඉන් පසුව එන්නත් ලබා දුන් විට ඊට ත් වඩා ආරක්ෂාවක් සැපයෙන බව එම අධ්‍යයනයෙන් සොයාගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කොවිඩ්-19 වැළඳීමෙන් ගර්භණී සමයේදී සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බැවින් එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ගර්භණී කාන්තාවන් සඳහා එන්නත් ලබා දීම නිර්දේශ කරන බව ය.

එන්නත් කිරීම මගින් ජනනය කරන රෝග මර්දන ප්‍රතිදේහ ගර්භාෂය තුළදී මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වන බව ත් එමගින් දරුණු රෝගාබාධ සහ රෝහල්ගත වීම්වලින් ආරක්ෂාව සපයන බව ත් එම අධ්‍යයනයෙන් තව දුරට ත් සොයා ගෙන තිබේ.

මෙම අධ්‍යයන වාර්තාව ඊයේ (පෙබ. 15) ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ සම්බන්ධයෙන් mawbima.lk වෙබ් අඩවිය පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ, මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මියගෙන් විමසීමක් කළ අතර එහිදී ඇය සඳහන් කළේ, එන්නත් ලබා ගැනීමෙන් මවට ද ආරක්ෂාවක් ලැබෙන බව ය.

ඒ හේතුවෙන් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට ගර්භණී කාන්තාවන්ට යොමු වන ලෙස ඇය ඉල්ලා සිටියා ය.

ඇය පෙන්වා දුන්නේ, මේ වන විට ගර්භණී කාන්තාවන්ගෙන් 90%කට වඩා වැඩි ප්‍රතිශතයක් කොවිඩ් එන්නත් මාත්‍රා ද්විත්වය ම ලබා ගෙන තිබුණ ද බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේ අඩු ප්‍රවණතාවක් නිරීක්ෂණය වන බව ය.

බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් දිවයින පුරා සලසා ඇතැයි ද ඇය වැඩිදුරට ත් පැවසුවා ය.

Related posts

Leave a Comment