ගම්පහ ටියුෂන් පන්තියක කාන්තා වැසිකිළියේ කැමරාවක්!

ගම්පහ, විජයාරාම මාවතේ පිහිටි ප්‍රසිද්ධ උපකාරක පන්තියක කාන්තා වැසිකිළියක් තුළ සිදුවන දේ සජීවීව ජංගම දුරකථනයකින් හෝ පරිගණකයකින් නැරඹීමට හැකි ආකාරයේ උපකරණයක් වැසිකිළියක් තුළ සවිකර තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ගම්පහ පොලිසිය පවසයි.

අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටින සිසුවියන් සහභාගී වන මෙම උපකාරක පන්තියේ සිසුවියක් විසින් වැසිකිළිය තුළ සවි කර තිබූ නවීන තාක්ෂණයෙන් යුත් උපකරණයක් දැක ඒ බව උපකාරක පන්තියේ ගුරුවරුන්, සිසු සිසුවියන් ඇතුළු මවුපියන් දැනුවත් කිරීමෙන් අනතුරුව මවුපියන් විසින් කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ අරඹා ඇතැයි ගම්පහ පොලිසිය වැඩිදුරටත් පැවැසීය.

එම වැසිකිළිය තුළ සවිකර තිබූ නවීන තාක්ෂණ උපකරණය මඟින් ජංගම දුරකථනයක් හෝ පරිගණක යන්ත්‍රයක් උපයෝගී කරගෙන වැසිකිළිය තුළ සිදුවන දෑ සජීවීව නැරඹීමට හැකියාව ඇති බවට ගම්පහ පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇති බවට ගම්පහ පොලිසිය වැඩිදුරටත් පැවැසීය.

මේ වන විට එම උපකාරක පන්තියේ ගොඩනැඟිලි හිමිකරු ඇතුළු 15 දෙනකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් එම උපකාරක පන්තියට සහභාගි වන සිසු සිසුවියන් විභාගයට පෙනී සිටින හෙයින් ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බව ගම්පහ පොලිසිය වැඩිදුරටත් පැවැසීය.

ගම්පහ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා, ස.පො.අ.(01) තුසිත කුමාර යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් එම උපකාරක පන්තියේ වැසිකිළියක් තුළ සවිකර තිබූ නවීන තාක්ෂණික උපකරණය වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා පොලිසිය භාරයට ගෙන ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පැවැසීය.

Related posts

Leave a Comment