වත්මන් රජය බලයට පත් කිරීම ගැන අපි දැඩි කම්පනයකට පත්වෙනවා – මහා සංඝරත්නය කියයි


 
වත්මන් රජය බලයට පත් කිරීම වෙනුවෙන් වෙහෙස මහන්සි වී කැපවීම් කළ තමන් වහන්සේලා වරාය ප‍්‍රශ්නයේදී දැඩි කම්පනයට පත්ව සිටින බවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සියයට හතළිස් නවයක් ඉන්දියාවේ අදානි සමාගමට පවරා දීමට රජය දරන උත්සාහය පරාජය කළ යුතු බවත් ඊයේ (22) අදහස් දක්වමින් මහා සංඝරත්නය එක හඬින් ප‍්‍රකාශ කර සිටියේය.
 
 නැෙඟනහිර ජැටිය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මහා සංඝරත්නය මෙසේ ද ප‍්‍රකාශ කළහ.
 
 මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි – අපි වරාය කිසිවකුට පවරා දීමට සූදානම් නැහැ. වරාය වෙනුවෙන් හෝ අපේ දේශීය සම්පත් වෙනුවෙන් ඉන්දියාව ඉල්ලන්නේ ලේ බිල්ලක් නම් අපි ලබා දෙන්නත් ලෑස්තියි. හැබැයි වරාය දෙන්න අපි කිසිවිටක සූදානම් නැහැ. එම නිසා මෙය වහාම අතහැර ගත යුතු  ගනුදෙනුවක්. අපේ රටේ ඉතිහාසයේත් ඕනෑ තරම් පාවාදීම් සිදු වුණා. එදා කොබ්බෑකඩුව හාමුදුරුවෝ දේශද්‍රෝහීන්ට උදව් කරපු හිමිනමක් හැටියටයි ඉතිහාසයේ ලියැවුණේ. ඒ නිසා අභයතිස්ස හාමුදුරුවෝ, කස්සප හාමුදුරුවෝ, ඉන්ද්‍රසාර හාමාදුරුවෝ, විමලජෝති හාමුදුරුවෝ ඇතුළු අපේ හිමිවරුන් කොළඹ වරාය ඉන්දියාවට සදාකාලිකව පාවා දෙන යුගයේ පාලකයන් බිහිකළ හාමුදුරුවන් ලෙස ඉතිහාසයේ ලියැවෙනවා නම් ඒ ඉතිහාසයේ කොටස්කරුවන් වීමට අපි ලැහැස්ති නැහැ. එම නිසා අපි ජනාධිපතිවරයාගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා කරුණාකර ජනතා විරෝධයට සහ මහා සංඝරත්නයට ඇහුම්කන් දී කොමිස් ගන්නා ව්‍යාපාරිකයන් කිහිපදෙනකුට ඕනෑ විදිහට වරාය පවරා නොදී මේ වෑයම අතහැර දමන ලෙසට.
 
 පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි – වරාය විකිණීමට ගෙන ආ යෝජනාව වහාම හකුළා ගත යුතුයි. අපි මේ පිළිබඳව රජයට බලපෑම් කරන ලෙස මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙනවා. මේ දේශීය සම්පත් ආරක්‍ෂා කිරීමට උන්වහන්සේලාට මැදිහත් වෙන්න කියන පණිවිඩය දෙනවා.
 
 ඇල්ලේ ගුණවංශ හිමි – වරායේ හෝ මොනයම් තැනක අබ මලක දෙයක් විකුණනවට අපි විරුද්ධයි. මෙතෙක් විකිණූ කිසිවකින් අපේ රටට ප‍්‍රයෝජනයක් ලැබී නැහැ. මේ රජය අපි විශාල කැපකිරීම් කරලා පිහිටවූ ආණ්ඩුවක්. මේ රජය අපේ හඬට කන්දී රටේ සම්පත් ආරක්‍ෂා කර දී කටයුතු කළ යුතුයි.
 
 කැලණිය විශ්වවිiාලයේ කථිකාචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමි – අපේ යතිවරයාණන් වහන්සේලා ජීවිත දී හෝ වරාය
 
 රැුකගැනීමට සූදානම්. කුමක් කළ යුතු වුවත් අප එයට සූදානම්. නමුත් මෙය අපි අපේ ජනාධිපතිවරයාට කරනු ලබන ආයාචනයක් නෙවෙයි. අපි පරම්පරාවක් හෝ රජකු හෝ ආරක්‍ෂා කරන්නේ ඔහු රට පැත්තේ සිටගතහොත් පමණයි.
 
 මාගල්කන්දේ සුදත්ත හිමි – අද ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් වරාය වෘත්තීය සමිති බාර දීමට යන ලිපියක් ගැනීමට හෝ ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔවුන් ඉන්නේ හිතුවක්කාර වැඩපිළිවෙළක. ඒ වගේම කොවිඞ් එන්නත සම්බන්ධ ප‍්‍රශ්නයේදී ඔවුන් අපේ රට අතහැරපු බවක් පෙන්වනවා. ඔවුන් අපට ඉතා කිට්ටුවෙන් සිටින රටක් නම් එසේ කළේ ඇයි. ඒවා අද අපට බරපතළ ප‍්‍රශ්නාර්ථයක් ඉතිරි කර තිබෙනවා.

Related posts

Leave a Comment