පැරසිටමෝල් හිඟයට චන්න හේතු කියයි!

රට පුරා පැරසිටමෝල් ඖෂධයේ හිඟයක් පැවතීමට හේතුව පවතින වසංගත තත්ත්වය නිසා පැරසිටමෝල් ඉල්ලුම සියයට 275කින් ඉහළ යාම ත් ඊට සරිලන පරිදි සැපයුම නොමැති වීම ත් බව ඖෂධ නියාමන සැපයීම් හා නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ ය.

කොවිඩ් රෝගීන් මෙන් ම මේ වන විට රටපුරා පැතිර යන වෛරස් උණට හා ඩෙංගු රෝගයට ද ඖෂධ ලෙස නිර්දේශ වන්නේ පැරසිටමෝල් බව කී අමාත්‍යවරයා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ දෛනික පැරසිටමෝල් නිෂ්පාදනය පෙති ලක්ෂ තිහක් බවත් පෙරේදා සිට එය ලක්ෂ 32ක් දක්වා වැඩිකළ බව ත් හෙළි කළේ ය.

පැරසිටමෝල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිල සියයට 150ක් පමණ දක්වා ඉහළ ගොස් ඇතැයි ද හෙතෙම කීය.

ලොව පුරා පැරසිටමෝල් ඖෂධය සඳහා පවතින ඉල්ලුම ද බොහෝ සේ ඉහළ ගොස් ඇති බව කී අමාත්‍යවරයා රට තුළ ම ඖෂධ නිපදවා ගැනීම පවතින තත්ත්වයට හොඳ ම විසඳුම බව ද ඔහු පැවසීය.

මහාචාර්ය චන්න ජයසුමන මේ අදහස් පළ කළේ කොළඹ හිල්ටන් හෝටලයේ ඊයේ (පෙබ. 22) පැවති අදාළ ගිවිසුම් අස්සන් කිරීමේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමිනි.

අනුරාධපුර ඔයාමඩුව ඖෂධ කර්මාන්ත පුරයේ ආයෝජකයන් තිදෙනෙක් හා අමාත්‍යාංශය අතර ගිවිසුම් ඊයේ අස්සන් කෙරිණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ආනයනික ඖෂධ අතරින් තවමත් සියයට 4ක ප්‍රමාණයක් ඇත්තේ ප්‍රමිතියෙන් තොර ඒවා බව ත් තම අමාත්‍යංශය භාරගත් 2020 වන විට එය සියයට 22ක්ම තිබූ බව ත් සඳහන් කළේ ය.

ඉන්දියාව, පාකිස්තානය හා බංග්ලාදේශය යන රටවලින් ගෙන එන ඖෂධ අතර මෙවැනි ප්‍රමිතියෙන් තොර ඖෂධ ඇතැයි හෙතෙම කියා සිටියේ ය.

Related posts

Leave a Comment