සමාරම්භක තරගයේ ජය කොල්කටා පිලට!

මෙවර (2022) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක තරගය ලෙස මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 132 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා ක්‍රීඩකයෝ පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ නායක ශ්‍රෙයාස් අයියර් පන්දු 19 කදී හතරේ පහරක් සමග නොදැවී ලකුණු 20 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

ආරම්භක පිතිකරු අජින්ක්‍යා රහනේ පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 44 ක් රැස්කරමින් කොල්කටා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. නිතිෂ් රාන් පන්දු 17 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 21 ක්ද, සෑම් බිලින්ස් පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 25 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.

චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ඩ්වේන් බ්‍රාවෝ, සිය ඕවර 4 ලකුණු 20 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගැනීමට සමත් වුවද, ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායමට උමේෂ් යාදව් ප්‍රමුඛ කොල්කටා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 131 ක් පමණි. එහිදී කලකට පසු සිය සුපුරුදු ක්‍රීඩා විලාශයට අවතීර්ණ වූ මහේන්ද්‍ර සිං දෝනි පන්දු 38 කින් නොදැවී ලකුණු 50 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගිනි.

ලකුණු 61 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී නායක රවින්ද්‍ර ජදේජා (නොදැවී 26) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 70 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද දෝනි සමත් විය. පන්දු 28 කට මුහුණදුන් ‍ජදේජාගේ ඉනිමට හයේ පහරක් ඇතුළත් විය. රොබින් උතප්පා පන්දු 21 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 28 ක් ලබා සිටියදී දැවී ගියේය.

චෙන්නායි සුපර් කිංග්ස් පිල – ඕවර 20 කදී කඩුලු 5 කට 131

(රොබින් උතප්පා 28, රවින්ද්‍ර ජදේජා නොදැවී 26, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 50, උමේෂ් යාදව් 20/2)

කොල්කටා නයිට්රයිඩර්ස් පිල – ඕවර 20 කදී කඩුලු 4 කට 133

(අජින්ක්‍යා රහනේ 44, වෙන්කටේෂ් අයියර් 16, නිතිෂ් රානා 21, ශ්‍රෙයාස් අයියර් නොදැවී 20, සෑම් බිලින්ස් 25, ඩ්වේන් බ්‍රාවෝ 20/3)

-036

Related posts

Leave a Comment