අධිකරණයට අපහාස කිරීම ගැන සිර දඬුවම් පැනවීම පිළිතුර නොවේ – ජගත් නීතිඥ සංගමය කියයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව නිරන්තරයෙන් යොදාගැනීම පිළිබඳ දෙවරක් සිතා බලන මෙන් ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනය (IBAHRI) පවසයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් “සිර දඬුවම් පැනවීම පිළිතුර නොවන,” බව ද එම ආයතනයේ අධ්‍යක්ෂිකා හෙලනා කෙනඩි සාමිවරිය බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.

“අධිකරණයට අපහාස කිරීම කියන වරද නිරන්තරයෙන් යොදාගැනීම ගැන දෙවරක් හිතන්න කියල මම ශ්‍රී ලංකාවේ විනිසුරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වරදට මිනිසුන් නිතර සිරගත කිරීම මේකට පිළිතුර නොවෙයි,” ඇය පැවසීය.

1947 දී පිහිටුවන ලද ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය (IBA), ලොව පුරා රටවල නීතිඥ සංගම් සහ නීති ක්ෂේත්‍රයේ සේවයේ නිරත වූවන් නියෝජනය කරන ජාත්‍යන්තර ආයතනය වේ. එහි මානව හිමිකම් ආයතනය (IBAHRI), සාධාරණ නීතියේ ආධිපත්‍යය යටතේ මානව හිමිකම් ප්‍රවර්ධනය, ආරක්ෂා කිරීම සහ සහතික කිරීම මෙන්ම විනිසුරුවරුන්ගේ සහ නීතිඥ වෘත්තියේ ස්වාධීනත්වය තහවුරු කිරීම පිණිස ක්‍රියාකරන ස්වාධීන, ජාත්‍යන්තර සංවිධානයකි.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට සිව් වසරක සිර දඬුවම් නියමවීමේ පසුබිම යටතේ අධිකරණයට අපහාස කිරීමේ වරද සහ ඒ සම්බන්ධයෙන් දිය යුතු දඬුවම සම්බන්ධයෙන් IBAHRI ආයතනයේ ස්ථාවරය කවරක් ද යන්න බීබීසී සිංහල සේවය හෙලනා කෙනඩි සාමිවරිය වෙත මතුකරන ලද ප්‍රශ්නයකි.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වුවත්, වෙනත් රටක විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව අදහස් දැක්වීම ඉතා දුෂ්කර කරුණක් බව කියා සිටි සාමිවරිය, අධිකරණයට අපහාස කිරීම පිළිබඳව පියවර ගත යුතු අතර අධිකරණයට සහ අධිකරණයේ නීතියට ගරු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව අවධාරණය කළාය.

“ඒ වගේම අධිකරණ පද්ධතියට අපහාස කරන පුද්ගලයන් ගැන කටයුතු කරන්න විනිසුරුවන්ට බලය තිබිය යුතුයි,” හෙලනා කෙනඩි සාමිවරිය එසේ කියා සිටියේ, ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

“ඒත් අධිකරණයට අපහාස කිරීම ගැන අවුරුදු ගණන් සිරගත කරන එක හරිම දුර්ලභ දෙයක්. නිසි කළමනාකරණයක් තියෙන අධිකරණයකට එවැන්නක් අවශ්‍ය නැහැ. මේ වගේ තත්ත්වයක් ගැන කටයුතු කරන්න දීර්ඝ සිර දඬුවම් දීම ගැන මගේ අවධානය පළ වෙනව.”

බීබීසී ඇසුරෙනි…

Related posts

Leave a Comment