දේශපාලන පළිගැනීම් කොමිසමේ වාර්තාවට එරෙහිව සජබ නඩු මගට

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවට එරෙහිව සමගි ජනබලවේගය නඩු පැවරීමට තීරණය කර ඇති අතර මේ සම්බන්ධව සමගි ජනබලවේගය නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ සඳහන් වෙයි..

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බව මාධ්‍ය වාර්තා කරන ලදී. එකී වාර්තාවෙහි අඩංගු නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ඇත. එමෙන්ම එම වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කර අවශ්‍ය නිර්දේශ මාස තුනක් තුළ ලබා දීමට දෙවන විශේෂ ජනාධිපති කොමිසමක් ද ගැසට් මගින් පත්කර ඇත. එම වාර්තාවේ කරුණු අනුව ඒ නිර්දේශවල මෙම පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින මන්ත‍්‍රීවරුන් කිහිප දෙනකුගේ ප‍්‍රජා අයිතිය අහිමි කිරීම වැනි බරපතළ නිර්දේශ අඩංගු අතර එම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සමස්ත අධිකරණ පද්ධතිය හා සමාජයම ව්‍යාකූලත්වයට පත්කරන සුළුය.

මෙය හුදෙක් අත්තනෝමතික දේශපාලන පළිගැනීමේ ක‍්‍රියාවලියක් වෙනුවෙන් ගොඩනැගූ වාර්තාවක් බවත් ඒ හරහා ආණ්ඩුවට තර්ජනයක් වන චරිත නිහඬ කිරීමට සහ ඔවුන්ගේ ප‍්‍රජා හා දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ගනු ලබන බියගුලූ වැඩපිළිවෙළක් බවත් අප විශ්වාස කරමු.

මේ තත්ත්වය තුළ ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායක සාකච්ඡුාවක් ද පවත්වනු ලැබීය. එහිදී විශේෂ තීන්දු කිහිපයක් ගත් අතර ඒ අනුව, මෙම ක‍්‍රියාවලියට එරෙහිව ගත හැකි සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමටත්, මේ අත්තනෝමතික ක‍්‍රියාවලිය පිළිබඳව සමස්ත ජනතාව දැනුවත් කොට එය පරාජය කිරීමටත් සමගි ජනබලවේගය තීන්දු කරනු ලැබීය.

Related posts

Leave a Comment