වියත්මග කියලා පටන් ගත්ත අයට යන එන මගක් නැති වෙලා

පාසල් දරුවන්ට නිල ඇඳුම් හෝ වවුචර්පත් ලබාදීමට නොහැකිව සිටින ආණ්ඩුව නිසි ක‍්‍රමවේදයක් නැතුව පාසල් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටිනවා යැයි හිටපු අධ්‍යාපන ඇමැති එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (10) පැවසීය.
හෙතෙම මේ බැව් පැවසූවේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.

ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ ජනතාවට තේරිලා තියෙනවා මැතිවරණයට පෙර කියපු දේවල් ද දැන් ඉටු කරන්නෙ කියලා. අද ආණ්ඩුවට ඡන්දය දුන්නු අය හොයාගන්නත් බැහැ. වියත්මග කියලා පටන් ගත්ත අය යන එන මගක් නැති වෙලා. බඩු මිල වැඩි වෙලා. ජනතාවට ජීවත් වෙන්න බැහැ. රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 10,000ක වැටුප් වැඩි කිරීමක් කළේ යහපාලන ආණ්ඩුවයි. ඒ වගේම හිටපු අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් යහපාලන ආණ්ඩුව යටතේ ගුරුවරුන්ගේ දීමනා වැඩි කළා. ශිෂ්‍යත්ව දීමනාව වැඩි කළා. මෙවැනි පහසුකම් රැසක් අධ්‍යාපනය වෙනුවෙන් අපේ ආණ්ඩුව එදා ඉටු කළා.
අද මේ ආණ්ඩුවට කළමනාකරණයක් නැහැ. අපේ ආණ්ඩුව එදා වැඩ කළේ නිසි කළමනාකරණයට අනුවයි. මාධ්‍ය ආයතන දැන් හරි දේ ජනතාවට පෙන්වන්න  ඕන. වරායේ නැගෙනහිර ජැටිය අල්ලගෙන බොරු රඟපෑම් සිදු කරනවා. විමල් වීරවංශ ඇමැතිවරයා බොරු විරෝධතාවක් පෙන්වමින් යනවා. 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමේදීත් ආණ්ඩුව මෙවැනි රඟපෑම් කළා. මේ එහි දෙවැනි ජවනිකාව ලෙස අපි දකිනවා.

අපි පටන් ගත්ත ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියෙන් පාසල්වලට විශාල සංවර්ධනයක් ළඟා කර දුන්නා. ගුරුවරුන් 25000ක් බඳවා ගත්තා. නිල ඇඳුම් දූෂණය නවත්වන්න නිල ඇඳුම් වෙනුවට වවුචර ලබා දුන්නා. අද නිල ඇදුමත් නෑ වවුචරයක් නැහැ. පාසල් පටන් ගන්නවා කිව්වට නිසි සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වන බවක් පාසල්වල පේන්නේ නෑ.

සහරාන්ගේ බෝම්බ ප‍්‍රහාරය සිදු වුණායින් පසුව අපි වැඩිකල් නොගිහින් පාසල් විවෘත කර දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කළා. කොරෝනා හේතුවෙන් වසරකින් දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වෙලා තියෙනවා. නැවත පාසල් ආරම්භ කළත් සති දෙකකින් නිවාඩු ලබා දෙනවා. ඒ නිවාඩුව අඩු කරනවාද නැද්ද කියලවත් මේ ආණ්ඩුවට තවම නිසි වැඩපිළිවෙලක් නැහැ. දරුවන්ට ටැබ් පරිගණක ලබා දීමට කැබිනට් පත‍්‍රිකා 14ක් දාලයි මම අනුමත කර ගත්තේ. මේ ආණ්ඩුවේ අය දැන් දරුවන්ට ටැබ් පරිගණක දෙනවා. අපි දාපු අඩිතාලම තමයි මේ අය ගෙනියන්නෙ. දෙමාපියන්ට ඬේටාවලට කොච්චර වියදම් කරන්න වෙනවද? දරුවෝ හතර පස්දෙනා ඉන්න ගෙවල් වල ඬේටාවලින් දරුවන්ට උගන්වන්න විශාල වියදමක් දරන බව පෞද්ගලික අත්දැකීම්වලින් මම දැකලා තියනවා. මේ නිසා රජය මැදිහත් වෙලා පෞද්ගලික සමාගම් සමග කතා කරලා ඬේටා නොමිලේ දෙන ක‍්‍රමයක් හදන්න  ඕනේ. රජය මේ ගැන කතා කරන්නෙවත් නැහැ. ජීවත් වෙන්න බැරුව ඉන්න දෙමාපියන්ට දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට වෙනම වියදමක් දරන්න වෙලා තියෙනවා.

අපි සුරක්ෂා රක්ෂණය දරුවන් වෙනුවෙන් ලබා දුන්නා. මෙය ආණ්ඩුව එය කප්පාදු කරන්න කටයුතු කරමින් ඉන්නවා. අපේ කාලය තුළ අධ්‍යාපනය වෙනුවෙන් කරපුවා විදුහල්පතිවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් ඇහුවොත් දැනගන්න පුළුවන්.

Related posts

Leave a Comment