අපි ආරම්භ කසලවලින් විදුලිය නිපදවන ව්‍යාපෘතිය ලඟදිම පටන් ගන්න යනවා කියලා ආරංචියි

ආණ්ඩු පකෂය නියෝජනය කරමින් ඉවතලන කසලින් විදුලිය නිපදවන බවට පසුගිය දිනක ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පවසා සිටියා. එහි මූලික අඩිතාලම දමමින් මෙම ව්‍යාපෘතිය හෙට දවසේදී ආරම්භ කිරීමට කටයුතු යෙදෙන බවට ආරංචියක් පවතින බවත්. “එය අපගේ උත්සාහයේ තවත් සාර්ථක ප්‍රතිඵලයක්” බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පවසයි. මේ බව සඳහන් කරමින් ඔහ සිය නිල ෆෙස්බුක් පිටුවේ තබා තිබු සටහන පහතින්..

2014 වර්ෂයේදී කොළඹ මහනගර සභාව විසින් ඉවතලන කසලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියක් සඳහා ටෙන්ඩර්පත් කැඳවනු ලැබූ අතර ඒ සඳහා Aitken Spence ආයතනය තෝරාගන්නා ලදි. එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා කොළඹ මහනගර සභාව විසින් අක්කර 5 ½ ක ඉඩමක් මීතොටමුල්ල ප්‍රදේශයෙන් ලබාදුන් අතර එමගින් මීතොටමුල්ල කසල කන්දට කුණු ගෙනයෑමටත්, ඉන් බලශක්තිය නිපදවීමටත් සැලසුම් සකස් කරන ලදි.

කොළඹ මහ නගර සභාව විසින් මීතොටමුල්ල ප්‍රදේශයෙන් ඉඩමක් ලබාදුන්නද එවැනි ඉඩමක් භෞතිකව නොතිබිණ. ඊට හේතුව මීතොටමුල්ලේ ගොඩගසා තිබූ කසලවලින් එම ඉඩම යටවී යාමයි. එමෙන්ම විධිමත් පරිසර අධ්‍යයනයක්, විදුලිය සඳහා ගෙවීම් ක්‍රමයක් හෝ විදුලි බලය උකහා ගන්නා ක්‍රමයක් පිළිබඳව ද කිසිදු සැළසුමක් නොවීය. ඒ තත්ත්වය මත එම ව්‍යාපෘතිය එම අවස්ථාවේ ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයට පත්ව තිබිණ.

2016 වර්ෂයේ අගභාගයේදී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් කසලින් විදුලිය නිපදවීමේ ව්‍යෘපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවීමට පියවර ගනු ලැබූ අතර ඒ සඳහා 100 කට වැඩි ඉල්ලුම්කරුවන් ප්‍රමාණයක් ඉදිරිපත් විය. කොළඹ නගර සභාවේ ව්‍යාපෘතිය, Aitken Spence සඳහා ලබාදී තිබූ නිසා ඔවුන් සමඟත් සාකච්ඡා කරන ලදි.Aitken Spence ව්‍යාපෘතිය සඳහා මීතොටමුල්ලේ ඉඩම් නොතිබූ හෙයින් එවකට මා යටතේ පාලනය වූ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් ඉඩමක් ඔවුන් කලින් ගෙවා තිබූ මුදලට සරිලන සේ ලබාදෙන ලදි.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් කසලින් විදුලිය නිපදවීමේ ඉතිරි ව්‍යාපෘති දෙක දකුණු කොළඹ (කරදියාන) සහ ගම්පහ (කෙරවලපිටිය) තරඟකාරී පදනමින් ලබාදෙන ලදි.මෙයට සමාන්තරව අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රධාන අංගනය අරුවක්කාලු ප්‍රදේශයේ සැලසුම් කළ අතර එයට කසල දුම්රිය මඟින් ගෙනයාම වෙනුවෙන් මධ්‍යස්ථානයක් කැලණිය වනවාසල ප්‍රදේශයේ ඇරඹීමට නියමිතව තිබිණ. එහෙයින් විදුලිය නිපදවීමෙන් පසු ඉතිරිවන ඝණ අලු සහිත කසල අරුවක්කාලුවට ගෙනයාමට හැකියාව ලැබිණි.Aitken Spence ව්‍යාපෘතිය සඳහා ගැටළු රැසක් තිබුණි.

මූලික පරිසර අධ්‍යයන නොමැතිවීම, නිශ්චිත විදුලි අය ක්‍රමයක් නොමැතිවීම, වගකීම් සහිත රජයේ ආයතනයක් නොමැතිවීම හා නාගරික ආයතනවල කසල බැහැරකිරීම, ප්‍රවාහනය හා අවසාන බැහැර කිරීම වැනි ගැටළු ගණනාවක් තිබුණි.ඒ අනුව මූලික පරිසර අධ්‍යනයක් සිදුකරන ලද අතර විදුලි අය ක්‍රමය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කරන ලදි. කසලින් නිපදවන විදුලිය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවිය හැක්කේ රුපියල් 23 ක් පමණක් බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් දැනුම් දෙන ලදි. ඒ අනුව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් මහජන උපයෝගීතා කොමිසමට මේ බව දැනුම් දී මේ සඳහා සාධාරණ ක්‍රමවේදයක් සකස් කරදෙන ලෙස දන්වන ලදි. ඒ අනුව විදුලි ඒකකයක් සඳහා රුපියල් 36.20 ක් ගෙවීම සාධාරණ බවට මහජන උපයෝගීතා කොමිසම දැනුම් දුන්න ද එම මුදල ගෙවීමට නොහැකි බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් දන්වන ලදි.

ඒ අනුව මෙම ගැටළුව සඳහා විසඳුම් ලෙස යෝජනා දෙකක් ඉදිරිපත් වුණි. ඉන් එකක් අදාල නගර සභාව හෝ කසල දෙන අය මෙම ඉතිරි ගණන ගෙවීමයි. අනෙක් විසඳුම මහා භාණ්ඩාගාරය විසින් ගෙවීමයි. එම පදනම යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි.මෙම ව්‍යාපෘති නිර්මාණය කිරීම සඳහා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මැදිහත් වුව ද අනාගතයේදී අධීක්ෂණය කිරීමේ කටයුත්ත බස්නාහිර පළාත් කසල කළමනාකරණ අධිකාරිය වෙත පවරනු ලැබීය. ආයෝජකයින්ගේ ගැටලු නිසාත්, කසළ බැහැර කිරීමේ ගැටළු නිසාත් කරදියාන ව්‍යාපෘතිය අතරමඟ ඇණහිටි අතර ගැටළු ගණනාවක් නිසා ගම්පහ ව්‍යාපෘතියද ක්‍රියාත්මක නොවීය.ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස Aitken Spence ව්‍යාපෘතිය එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන ලදි.මෙම ක්‍රියාවලියේදී සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට නම්, කසල විධිමත්ව වෙන්කර, දහනය කිරීමට හැකි කසල පමණක් යොදාගත යුතුබව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ව්‍යාපෘතිය ආරම්භයේ සිටම පෙන්වා දෙන ලදි. තෙත කසළ වලින් හා වෙන් නොකරන ලද කසලවලින් විදුලිය නිපදවීම අධික වියදම්කාරී වන අතර එය ප්‍රායෝගිකව සිදුකළ නොහැකි බවද එහිදී පෙන්වා දුනි.

එමෙන්ම ඉතුරු වන අලු ප්‍රමාණය අති විශාල ප්‍රමාණයක් (ඝණ අළු (Bottom Ash) 25 %, සුළඟේ පාවෙන අළු (Fly Ash) 3%) හෙයින් ඒවා අවසාන බැහැර කිරීමේ ස්ථානයකට ප්‍රවාහනය කළ යුතුව ඇත. මේවා විධිමත්ව අනුගමනය නොකළහොත් මෙම ව්‍යාපෘතිට අසාර්ථක වීමට ඉඩ ඇත. එහෙයින් එහි වගකීම කොළඹ මහනගර සභාව හා බස්නාහිර පළාත් කසළ කළමනාකරණ අධිකාරියට පැවරේ.කෙසේ වෙතත් අප ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය හෙට දවසේදී ආරම්භ කිරීමට කටයුතු යෙදෙන බවට ආරංචියක්ද පවතී. එය අපගේ උත්සාහයේ තවත් සාර්ථක ප්‍රතිඵලයක් වුවත් එය අනාගතයේදී මෙහෙයවන හා කසලින් විදුලිය නිෂ්පාදනයෙන් බැහැර වන අපද්‍රව්‍ය (Bottom Ash & Fly Ash) නිසි පරිදි කළමණාකරණය කරගත නොහැකි වුවහොත් තවත් අර්බුදයක් නිර්මාණය විය හැකි බවද පෙන්වා දෙමු

පාඨලී චම්පික FB

Related posts

Leave a Comment